අකාලික විංශතිය

සහස් දුම්වැටි දුමෙන් වුව පළවා නොහෙන
විකල් ඇස් ලෙළවමින් ආත්මය මත ලගින
අමන වාමන රැළකි මේ නිම් නොමැති ශෝකය.
ඔක්කාරය වුවද මුව තුළින් පිටතට නොඑන
රහසක්ය ළය කෙළවරේ කළුවරේ පොදිකන‍‍.

පොලොව යට කඳු පෙළකි යටිකුරුව සිටගත්
නිසල සුදු ගං දියේ සදහටම ගිලීගෙන…
මතකයක් හෝ සිහිනයක් නොව
එය වෙනත් ලෝකයකි සකි,
හදිසියේ අහම්බෙන් දොර ඇරෙන
සැඟව ගනු වස් මා වෙත ඉතිරි
එකම කෙම්බිම සදිසි.

ඒ ලොවේ හිරු එළිය සඳ එළිය තුළ
උයන්වතු නිම්න සහ කඳු අතර
විසල් ශාලා තුංමං සන්දි
වෙල්යාය ඇල ඉවුර මත
මුහුණු නැති සෙවණැලිව
දහස් ගණනින් සැරිසරන
ඒ සියළුදෙන ඇයිද මේ එකම සිනහවකින්
මේ තරම් දොඩමළුව…?

ඒ සෙනඟ මැද සැම විටම
ඔබ ම මට මගෑරුණේ මන්ද…..

ඔබ නිශාත්මය කාලයේ ඡායා අතර
වසන්තය යළි නොඑන ඉපල් වන වදුලු තුළ
සැඟවෙමින් මතුවෙමින් තවම මා ලුහුබඳියි.

කැරකෙමින් පාමුලට ඇද වැටුන
අරලියා මල් ගණන් කරමින්
සීත ජනවාරියේ හිරු එළියේ සුව විඳි
ඒ උදෑසනවල ද අප නොදැනීම
ඉතිහාසයේ කලු කුහර මුව අයා සිටියේද…
සදාකාලික මේ වියෝගය
අප නළල් තල මත
එකල්හි වුව ලියැවෙමින් තිබුනේද…

ඉදින් මේ ශෝකයේ උල්පත
අපට ලොව වෙනස් කළ නොහැකි වූ නිසා වත්
ලොවට අප වෙනස් කළ නොහැකි වූ නිසා වත් නොව
අවසාන අරලිය මලද‍
බිම වැටෙනතෙක්
ඔබ අසල සිටිමට මට නොහැකි වූ නිසාවෙනි.

බූන්දි -පෙබරවාරි 2011

Advertisement
Follow

Get every new post delivered to your Inbox.