අගනුවර අවන්හලකින්
ගත් බත්පත දිගහැරියෙමි.
ඔක්කාරය දනවන ලේ පිළී ගඳක්
ඉන් විසිරිණි
අරක්කැමි දෙමළ කොලූවා
කිසිවෙකු විසින්
පැහැරගෙනයාමට පෙර
උගේ අවසාන කඳුළු බිඳුවෙන්
බත්පතේ ලුණුපදමද වැඩි කර තිබිණ
ගම පැමිණි විරුවෙකු
පෙම්වතිය හා බසයට නගියි.
ඇගේ මුදු සවන් පෙති මත
දිදුළන අබරණ පිස හමා එන
සුළඟෙහිද ලේ පිලී ගඳ දැවටෙයි
වෙඩි දුමින් පිළිස්සී
වන්නියේ ඇද වැටුණ
කෙට්ටු කළු ගැහැණු මළ කඳක
කන්පෙතී ඉරී ගොස් ඇත.
කවුළුවෙන් හිස රුවා
ඇති පදම් වමනය කළෙමි.
සාලයේ වැතිර
රූපවාහිනිය නරඹමි
දික් විජය ගැන තළුමරන
නා දළු දෙතොලගින්
ලේ පිළී ගඳ වෑස්සෙයි.
පාවහන් මිලට ගැනුමට
සාප්පුවකට ගියෙමි.
පමණ සරිලන බොහෝ වූ මුත්
ලේ ගඳ නොතැවරුණ
එකදු පාවහනක් හමු නොවිණි.
සාප්පුවේ එළිපත්ත අසලදී
මස්වැදැළි ලෙස ශේෂ වූ
දෙපා ඇදගෙන බඩගා පැමිණි
නිරුවත් දෙමළ දරුවෙක්
ගෙවී කඩමාළු වී ගිය
පාවහන් යුගලක් දෝතින්ම
මවෙත දිගුකර
අහිමි කළ දෙපා යළි ඉල්ලමින්
මා හඹා ඇදී එයි.
දකුණේ දසත
නොනැවතී විසිරෙන ලේ පිළිගඳ
නැහැය හාරා පැමිණ
මගේ හිස්මොළ කකියවයි.
හිසරදයට පෙත්තක් සොයා
ඔසු සලට ගොඩ වූයෙමි.
නන්වැදෑරුම් ඔසුවලින් පිරී ගිය
රාක්කද ශීතකරණද අරා වැජඹුණ
හැම ඔසුවක ලේබලය මත
බෙහෙත් නොමැතිව මැරුණු
සියළු දෙමළුන්ගේ නම් වාසගම්
කිසිවෙකුට නොපෙනන
ලෙසින් සඳහන් වී තිබිණි.
මා මිලට ගත් පෙත්තෙන්ද
අර අපුල ලේ ගඳ ම විහිදෙයි.
එය වීසි කර දමා
කුණු බක්කියක් මත වාඩි වී
පහන් කණුවකට හිස වාරු කර
දෑස වසා ගතිමි
දෑස් හැර බලන විට
ශාක්‍ය කෝලිය යුද්ධය නිමා කර
ආපසු වඩින බුදුන් හමු විය.
මට දැනෙන ලේ ගඳ මැඞීමට
මා පෙළන හිසරදයෙන් මිදීමට
සමත් ඔසුවක වෙත්දැයි
බුදුන්ගෙන් විමසුවෙමි.
එම ඔසුව සැකසීමට
දෙමළ ලෙය නොතැවරුණ
සිහල ගෙයකින් අබ මිටක්
රැගෙන එන ලෙස පැවැසූ
බුදුහුද කඩිමුඩියේ නික්මී ගියහ.
අජිත් සී හේරත්