අකාලික විංශතිය

සහස් දුම්වැටි දුමෙන් වුව පළවා නොහෙන
විකල් ඇස් ලෙළවමින් ආත්මය මත ලගින
අමන වාමන රැළකි මේ නිම් නොමැති ශෝකය.
ඔක්කාරය වුවද මුව තුළින් පිටතට නොඑන
රහසක්ය ළය කෙළවරේ කළුවරේ පොදිකන‍‍.

පොලොව යට කඳු පෙළකි යටිකුරුව සිටගත්
නිසල සුදු ගං දියේ සදහටම ගිලීගෙන…
මතකයක් හෝ සිහිනයක් නොව
එය වෙනත් ලෝකයකි සකි,
හදිසියේ අහම්බෙන් දොර ඇරෙන
සැඟව ගනු වස් මා වෙත ඉතිරි
එකම කෙම්බිම සදිසි.

ඒ ලොවේ හිරු එළිය සඳ එළිය තුළ
උයන්වතු නිම්න සහ කඳු අතර
විසල් ශාලා තුංමං සන්දි
වෙල්යාය ඇල ඉවුර මත
මුහුණු නැති සෙවණැලිව
දහස් ගණනින් සැරිසරන
ඒ සියළුදෙන ඇයිද මේ එකම සිනහවකින්
මේ තරම් දොඩමළුව…?

ඒ සෙනඟ මැද සැම විටම
ඔබ ම මට මගෑරුණේ මන්ද…..

ඔබ නිශාත්මය කාලයේ ඡායා අතර
වසන්තය යළි නොඑන ඉපල් වන වදුලු තුළ
සැඟවෙමින් මතුවෙමින් තවම මා ලුහුබඳියි.

කැරකෙමින් පාමුලට ඇද වැටුන
අරලියා මල් ගණන් කරමින්
සීත ජනවාරියේ හිරු එළියේ සුව විඳි
ඒ උදෑසනවල ද අප නොදැනීම
ඉතිහාසයේ කලු කුහර මුව අයා සිටියේද…
සදාකාලික මේ වියෝගය
අප නළල් තල මත
එකල්හි වුව ලියැවෙමින් තිබුනේද…

ඉදින් මේ ශෝකයේ උල්පත
අපට ලොව වෙනස් කළ නොහැකි වූ නිසා වත්
ලොවට අප වෙනස් කළ නොහැකි වූ නිසා වත් නොව
අවසාන අරලිය මලද‍
බිම වැටෙනතෙක්
ඔබ අසල සිටිමට මට නොහැකි වූ නිසාවෙනි.

බූන්දි -පෙබරවාරි 2011

කොළඹදී හමු වූ දමිල මව

බුදුපුත් පයට පෑගෙන හැඳුනුම් පතද අරගෙන
දරුන් සොයමින් ඇවිදින කඳවුරු ගානේ වැළපෙන
දුටු දුටු දෙනෙත් ඔරවන නමුත් කිසිවෙකුට නොපෙනෙන
ගිනිබත් දෙවොලේ තනිවුණ දෙමල මව් දෙවඟන

සීහ දද ලෙළදෙන කොළොම්තොට නැත නුඹට කාරණ
ධවල රථවාහන රෑ දිවා දඩයමේ ඇවිදින
කනකර පැළැඳි අබරණ නිල නොනිල අත්වලින් ගැලවෙන
මේ මහා පුරවර නුඹට නම් නොම වේය නිවහන

නුඹ මැහැළි බව සැබැයි ඒ නමුත් නුඹවද සැකයි
ඇත්තමයි උඹ ගැන දුකයි ඒත් මට මං ගැන බයයි
මා ගැනත් දැන් උන් හොයයි රස්සාව රැකගත යුතුයි
ගමට පලයං අම්මේ, ඔව් ළමයි හෙට ගෙදර එයි

යොදුන්වලින් ජය මැනෙනා යුදක් මැද
සඳුන් කල්ක ගත් දරුවන් මියෙන සඳ
මවුන් දුටිමි සොයනා දරු විඳින වද
බුදුනි බුදු පුතුනි ගැලූ ලෙය තව මදිද

අජිත් සී හේරත්- බූන්දි පෙබරවාරි 2009

අප්‍රේල් වැස්ස

පුරුදු මුදු මඳහස හෙටටද දකිනු රිසියෙන්
ඒ කඳුළු පිසළා කිසිවක් නොවූ විලසින්
මින් පෙර බොහෝ වර සිදු වූ ලෙසම මිතුරිය
සැනසුම් බසක් යම්තමින් තෙපළා
ඔබ හට යන්ට හැරියෙම්

බිඳෙන්නට මොහොතකට පෙර ඒ ළබැඳි අත්වැළ
දැනුන මුත් නොහැඟිණ ඔබේ දෑතෙහි සීතල
පතුලෙහි දැවෙන ගොජලන දුක් ගිනි නොපෙනි සැඟවුන
අහෝ මේ ගිනිකඳු මතුපිටින් ඇයි
මෙතරම්ම නිසසල

නොඇසුන එකම වදනක ලියැවුනෙද ඔබේ දුක් කඳ
මගෑරුණ එකම සුසුමක කැටිවිණි ද ඒ නො කී පිරිපත
හිස හොවා හඬන්නට තැන් සොයා
ඇවිද්දෙද ගෙයින් ගෙට
යන්ට පෙර දකින්නට ආවේ ද අවසන් වරට

සාලයේ සුදු උඩු වියන් යට මරණයේ ඇත් දළ අතර
කාලයේ චලනය නතර කොට කිමද අද නිහඬව වැතිර
බාලයේ මිතු දම් ගඟුල වියැකි ගිය පසු දිවි කතර
සාමයේ සැතපුනිද දෙව්දුවනි ඔබ
නික්ම ගොස් අප සැම අතැර

වළලා සදහටම ඒ තෙතැති පස් යට
හැරෙනා විටදි අප සමු දෙමින් ඔබහට
ගුගුරා කළු අහස ඇද වැටින පොළොවට
අනෝරා වැහි හත්දොහේ නොනවතින

අකුණු හෙණ පුපුරන විට අඳුරේ තනිව හිඳුමට
ඔබ බිය වූ බව එකල සිහි වුණෙන් එක්වරම මා හට
ඇදෙනු නොහැකිව ඉවතට අවසඟ දෙපා පැකිළී
මළවුන්ගේ කොලනියේ ඈත අඳුරේ වෙළුනු
ඔබේ නව නිවස දෙස හැරී බැලුවෙමි යළිදු

මල්වඩම් සුසුදු සැරසිලි
සීත සුළඟේ සැලී ඉගිලී
ඔබේ සොහොනත වැතිරී
වැසි දියෙන් තෙමී දිය වී.

අජිත් සී. හේරත් අප්‍රේල් 2010

ඔබ ගිලී මළ තැන

ඇල කණ්ඩියේ වාඩි වී
පා ඔබා දිය කඳ තුළ බලා සිටියෙමි,
ඔහේ ගලනා යෝධ ඇළ දෙස,
ළමා කල මතකයේ පෙණ කැටිති පාව එන.

වතුර බසිනා තැන ‍පෙනී නොපෙනී සරන,
ගොම්මනේ ගීතය ගයන,
හොල්මන් කුරුල්ලෙකු පැමිණ,
තුඩගින් ගෙනා රාත්‍රිය
යෝධ ඇළ කුඹුක් අතුපතර දවටා
සට සට හඬින්
තටු සලා ඉගිළ යයි.

ඇල කණ්ඩියේ ගව මංකඩක
සිය දහස් ගව කුර සටහනින් මැකී ගිය
එගොඩ වූ බව මිස යළි  මෙගොඩ වූ ලකුණු නැති
ළමා පා සටහනකි, දසක ගණනක් පැරණි.

නෑ සියන් කිසිවෙකුත් නැති
ගොපළු කොළුවෙක්  මගෑරුණු ගවයෙකු සොයා,
රෑට දෙන රොටී පළුවද දඬුවම විසින් අහිමිව,
රැය පුරා බඩ වැටි අතර සැරි සරා
බිඳී ගිය බැරෑඬි හඬකින් ගවයන්ට අඬ ගසන හඬ
ඇල එගොඩ දුර සිට යම්තමින් තාමත් ඇසෙයි.

නොගිලී සිටිනු වස් අත්පා ගසන විට
ජලතලය කැළඹෙන හඬ,
මෙගොඩ වූ යමෙකු හතිලමින්
තෙත බරිත රෙදි කඩක් ගසා දමනා හඬ,
කෙවිටෙන් පඳුරකට ගසමින් ළඟ ළඟම පිය මනින හඬ,
නමින්වත් නොදැන හුන් අම්මෙකුට අප්පෙකුට
දුක කියා තනිව ඉකිබිඳි  ඒ ළමා කට හඬ,
නෑසු කන්ව නිදි ගත් මගේ සුන්දර ගම්දොර
එදා මෙන් තාමත් නිදයි, සඳ රාත්‍රිය මළවුන්ට වෙන් කර.

ට්‍රැක් දාසයේ  සියඹලා ගස යට
ගොඩ දමා තිබිණි මැස්සක් මත
ඒ අනත් දරු මළ කඳ.
කිසිදා නොපිරි කුස, සුසුම් සිර වූ පෙණහළු
යෝධ ඇල වතුරෙන්,  රොන් මඩින් පිරී තිබුණෙන්
ගිලී මිය යාමක් ලෙස තීන්දුව පළවිය.

රැස්ව හුන්  සියල්ලන් විසිර ගිය පසු,
ඉතුරු වූ එකා දෙන්නා එක්ව,
කුඹුරු යායට ඉහළ රිසිවේසන් කෑල්ලේ  වළ දමන්නට
ඔබේ මල කඳ රැගෙන යන විට පසුපස ගෑටුවෙමි,
හඬන්නට කිසිවෙකුත් නොසිටිය අවමගුල් පෙරහැරක.

පාසල් යනෙන මග ගඩාගෙඩි ඇදිහැස විස්කෝතු
හුවමාරු වුන සුපුරුදු සියඹලා ගස යට
ගවරැලද පිරිවරා සිනහ සී අත වනන
ඔබේ රුව දකිනු වස්  මොහොතකට අමතකව,
නතර වී බලන කල,
ඒ ගසේ  අත්තක, දිරා යන ඔබේ වැරහැලි කමිසය
එකම එක සුදු කොඩිය වී ඔබෙ මළ ගමට එසැවුණු,
රැඳී තිබෙනායුරු දුටුවෙමි, බොහෝ කල් යන තෙක්.

යෝධ ඇල නගන මේ රැළි
සඳ රැයෙක ඔබ දියෙන් මතු වී ඉඳ හිට
කිසිවෙකු දකින්නට පෙර
යළි  කිමිදෙනා විට මතුවන කැළැඹුමය.
ඈත සිට විත් පහලටම පාව යන මේ  පෙණ ‍පිඬු
යෝධ ඇල පත්ලේ රොන් මඩ අතර සැඟවුණු,
තාමත් බුබුලු ලා මතුවන  ඔබේ අවසන් හුස්‍මය.

අජිත් සී හේරත්  2010  මාර්තු

සප්ත ස්වප්න

පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය

දුරවබෝධී ලක්ෂ්‍යයක සිට
මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි.
නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි.
ජලතලය මත ඇද වැටීමට
මොහොතකට පෙර
සුන්බුන් අතර පාවෙන
තොටිල්ලක් තුළ බිළි‍‍ඳෙකුව අවදි වූයෙමි.
ඇඳිවත් දෙදණ තෙක් ඔසවාගෙන
මඩදියේ ඇවිදින මා හැඳින සිනහසී අතවනන
මිනිසුන්ද ගැහැණුන්ද පසුකර පාව ගියෙමි.

තොටිල්ල කුණු කාණුවක සිර වී පෙරළුණෙන්
තෙතබරිතව සීතලෙන් වෙවුලමින්
මම ඉන් ඉවතට බඩ ගා
ඔබ පසුපස ඇදී ආවෙමි.
ඔබ මා නුදුටුවෙහිය!
එක්වරම කිසිවෙකු විසින් මා ඔසවා
දියකඳ වෙත වීසි කෙරිණ.
මම යළිත් අවකාශයේ පහලට රූටා වැටෙමින් සිටියෙමි.
බිම පතිතවීමට මොහොතකට පෙර
මා යළිත් අවදිවනු ඇති බවට
එවර මා තුළ හැඟීමක් විය.

දෙවන සිහිනය -මා ලද ශාපය ඔබගේ හාදුව විසින් නිමා වූයේ නැත.


වර්ෂාව නොනැවතී ඇද හැළිණ
ඔබ කවුළුවෙන් ඉවත බලා සිටියාය.
කවුළු වීදුරුව මත රැඳි
ඔබගේ සුසුම් හුමාලය මිහිදුමක් වී
ඈත නකල්ස් කඳු වැටි බොඳ කෙරිණ.

ක්ලෝරෆෝම් මතින්
මා දෑස නිදිබරව පිය‍වෙන විට
ඔබ නෙතින් වට කඳුළක් විසින් මා අවදි විය.
පැරපීන් ඉටිතැටිය මත අප්‍රාණිකව වැතිරී
මම ඔබ දෙස බලාසිටියෙමි.
මා ඔසවාගත් ඔබ
එකම වරක් පමණක් මා සිප
කවුළුව විවර කර
මා එළියට වීසිකර
විද්‍යාගාරයෙන් නික්මී ගියාය.
යළි කිසි දිනෙක ඔබ පාසල් පැමිණියේ නැත.
මා‍ ලද ශාපය ඔබගේ හාදුව විසින් නිමා වූයේ හෝ
බිම ඇදවැටීමට පෙර මා අවදි වූයේ හෝ නැත.

තෙවන සිහිනය- කිසිදා තරණය කළ නොහෙන පාලම


ඔවුහු ඔබ සියළු දෙන දෑත් පිටිතල හයා බැඳ
පාලම මත නිරුවතින් දණගැස්වූහ.
ඔබ ගලවාගනු වස්
ඔබ විසින් පාවා නොදී වැළලුණ
අවසාන රයිපලය සොයමින්
මම මහපොළොව වියරුවෙන් පහුරුගෑවෙමි.
මට එය සොයාගත ‍ නොහැකි විය
පහළ ගංදියේ
මළකඳන් පාවෙමින් තිබිණි
මේ පාලම පසුකරන හැම වරෙකම
මා ද ළය සිදුරුව ගංදියට ඇද වැටෙයි.
තාමත් ඇද වැටෙමින් සිටිමි.

සිව්වන සිහිනය- ඒ නිල් අහස සහ වළාකුළු දුටුවෙමි.


රැඳවුම් කඳවුරේ වැල්දොඩම්ගාල යට
දිරාගිය සිල්පර කොටයක් මත වාඩි වී
පලා යාමේ මගක් ගැන සිතූවෙමි.
මහපොළොව කැණ උමගක් හාරා
කඳු සතක් එපිට මහවන මැදින් මතු වී
වෙනත් නිල් අහසක් සහ සුදු වළාකුළු දකින්නට
හැකි බව ඔබ හෙමින් මා සවනට මිමිණීය.
කඳවුරේ පොදු නාන ලිඳ පාළුවී
ජල තලය නිසල වූ දහවලක
බැම්ම මත වාඩි වී
ළිං පත්ළ දෙස බැලූ මට
ඒ උමග හමු විය
පත්ළක් නොමැති ළිංකුහරය තුළ
ඒ නිල් අහස සහ වළාකුළු දුටුවෙමි.
පොළවේ එහා කෙළවර සිට
මගේ දෑසින් ඔබ මදෙස බලා සිටියෙහිය!
රැඳවියන්ගේ බාල්දි දුසිමකින්
ජල තලය කැළතී නිල් අහස, වළාකුළු සහ ඔබ
අතුරුදන්වන්නට පළමුව
ලිඳ තුළින් පලා යාමට සිතුවෙමි.
මම යලිත් පත්ලක් නොමැති භූ කුහරය
තුළින් නිල් අහස වෙත ඇද වැටෙමින් සිටියෙමි.

පස්වන සිහිනය-නිල් ටාර්පෝලීන් චිතකය


නිල්පැහැ ටාර්පෝලින් කුඩාරම
සමග තොටිල්ල ගිනිගෙන දැවෙද්දී
ඔබ ඉන් පිටතට බඩ ගා ආවෙහිය!
සිඟිති අතපය පිළිස්සී තිබූ මුත්
ආයාසයෙන් ඉවතට ඇදී යාමට
තැත් දරන ඔබ දෙස
මම අකර්මණ්‍යයව බලා සිටියෙමි.
අප දෑස් එකිනෙක මොහොතකට ගැටුණු මුත්
ඔබ මා දුටුවේදැයි නොදනිමි.
පාෂාණීභූත මා පසුකර බඩ ගා ඇදී ගිය ඔබ
අගලකට ඇද වැටී
සෙසු මළ කඳන් සහ දුමාරය අතර
අතුරුදන් විය.
ජීවිතය සොයා සැඟව ගත් අගලම
ඔබගේ සූසානය බවට පත් කළ
බුල්ඩෝසර ඈතට ඇදී යද්දී
ඒ සිඟිති අත යම්තමින් වැලි කඳු අතර දිස්විණ.

සයවන සිහිනය-මා පමා වූයෙන් මට ඔබ සදහටම මග හැරිණි.


ශෝකී නොසන්සුන් බවකින් අවදි වූයෙමි
ඒ පමා වීදැයි වේලාසනින්දැයි
සිතාගත නොහැකිය
තාමත් අන්ධකාරය බැවිනි.
කිසිවෙකු මා මුණගැසෙනු වස්
යම් තැනක බලා සිටින බවට
ඉඳහිට මා පෙ‍ලෙන හැඟීම
යළිත් හදිසියේම මතු විය.
එහෙත් කවුරුන්ද කොතැනකදීදැයි අවිනිශ්චිතය.
ඇතැම් විට ඒ ඔබ විය හැකිය.
එළැඹීමට නියමිත දින සියල්ල
සිහි කැඳවීමේ සටහන්ද සමගම
ඉරා උදුරා දමා තිබූ බැවින්
කැලැන්ඩරයේ ශේෂව ඇත්තේ
ගෙවී ගිය දින මාස පමණකි.
A9 අවසාන මුරපොල ‍පසුකර
මායිම හරහා ඇවිද ගිය නමුත්
ඔබ දක්නට නොවීය.
මා පමා වූයෙන් ඔබ නික්ම ගියේදැයි නොදනිමි.
ඔබ නැති වන්නියේ
නටබුන් නිවසක දොරකඩ වාඩී වී
නිවාගත් දුම්වැටියේ ඔබේ අඩ අතැතිව බලා සිටියෙමි.

සත්වන සිහිනය-අතීතය කැබැළිතිව විසිරී පාවිණි.


සෝදිසි මෙහෙයුම නිමා කර
සොල්දාදුවන් නික්ම ගිය පසු
කාමරයේ නෂ්ටාවශේෂ මැද
ඔවුන් විසින් ඉරා දමන ලද
අපගේ අවසාන සමූහ ඡායාරූපයේ
කැබැලි විසිරී තිබිණි.
කාලය විසින් අවපැහැගැන්වු
ඒ කඩදාසි කැබැළි මත
නොදන්නා ඉරණම් කරා
වෙන්ව යාමට මොහොතකට පෙර
අප එක්ව ගත කළ අවසාන නිමේෂයේ
මදහස තවමත් රැඳී තිබිණි.
ඒ කැබැළි එකින් එක අහුලා
ජනෙල් ගැට්ට මත තබා
යළි එය එකට ඇලවීමට තැත්කළෙමි
එහෙත් කොහේදෝ සිට පැමිණි සුළඟක්
එක්වරම ඒවා ඩැහැගනු ලැබිණි.
සරත් සමයේ ගිලිහුණ අවසාන තුරුපත් සමග
ඒවා එකිනෙකින් ඈතටම විසිරිණ.
අපි ඒ සුළඟේ කඩදාසි කැබැළි බවට පත්ව
පහළටම පාව යමින් සිටියෙමු.

ආවර්ජනය


අලසව යහන මත වැතිරී අසන
හිමිදිරි කුරුලුහඬ පවා සිහිනයකි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.
ඊළඟ සිහිනයේ දී ඇසෙන
මරණීය විලාපයකින් බිඳ වැටෙන.

සිහිනයෙන් සිහිනයට
මා හඹා එන
මවිසින් ලුහුබැ‍ඳෙන
මා වෙතින් පලා යන
මුණගැසීමට මොහොතක් තබා මග හැරෙන
යළිදු වෙනත් රූපයක් තුළ මතුවන
ඔබ කවුරුන්ද
වරෙක පසු කර ආ සියළු මංපෙත්
කඳු සිඛර සහ මිටියාවත් හරහා
එකිනෙකා ලුහුබඳින
එකිනෙකාගෙන් පලා යන
අප කවුරුන්ද?
එකම ආත්මයක් තුළ රූපාන්තරණයන් දහසක්..
එකම රූපයක් තුළ ආත්මයන් දහසක්.

මේ සියල්ලෙන් පසුවත්
මට මා ඔබෙන් වෙන් කර හඳුනා ගත නොහැකිය,
ඔබ ඔවුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිවාක් මෙනි.
සියළු විශ්වීය පදාර්ථයන්ගේ
මූලරූපය ඔබය.
මා එහි පිළිබිඹුව පමණෙකි.

දෙවන රළ පහරෙන්
මළකඳන් සයුරටම දියකර අසිප‍ත් පිරිසුදු කෙරිණ.
මළවුන් සහ නොමළවුන් අතර වෙනස හැරෙන්නට
අන් සියල්ල සෝදා හැරිණි.
වළ දමන ලද රාත්‍රීන් සන් කරනුයේ
නටබුන් නිවෙස්වල වෙඩි වලින් සිදුරු වූ දොර පියන් වලටය.
නිදි වරා දුටු සිහිනයන් දැන්
පැරණි දිනපොතක සටහනක් පමණි‍.
අතීරණයේ එක් මංසලකදී
නොගත් මංපෙත්
කාලයේ මී දුමින් වැසී යයි.

ඔබගේ දෙණ බහාලූ ලාබ මිනී පෙට්ටිය
මඩවගුරක් මැද හුදෙකලා වූ මුත්
ඝාතකයාගේ රන්මුවා දෝළාව කරින් ගෙන
පෙරහැරේ යනවුන් දිටිමි.
රූපාන්තරණය දුරවබෝධී වූයේත් යුක්තියුක්ත වූයේත්
අනුයාත අවධීන්ගේ ආසන්න සමරූපිතාව විසිනි.

පැරපීන් ඉටිතැටිය මත තම ආත්මය ඇණගසා
එහි ළය පලා හදවත ඉවතට ගත් මැඩියෙකු
වැගිරෙන රුහිරු සිය දිගු දිවෙන් රස විඳියි‍.
‘මේ නුඹලාගේ විමුක්තිය උදෙසා
මා වැගිරවීමට කලින් සිතා සිටි මාගේම රුධිරයයි.’
ඉතින්නම් කිසිවෙකු සාගින්නෙන් නොමියෙනු ඇත

පාරිලෙය්‍ය වනයේ වස්සාන සීතල
විසින් පසක් කරදුන් පරම සත්‍යයම
ගෙත්සෙමණ කඳු මුදුනේ ශෝකී අන්ධකාරය
තුළින් මතු වූ අවසාන යාඥාවේ දෝංකාරය නොවිණිද?
බොලීවියාවේ පාළු පාසල් ගොඩනැගිල්ලක් තුළ හෝ
බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළ හෝ
නන්දිකඩාල් කලපුවේ ලේ වැකි වැල්ල මත වුව හෝ
අත්විඳි මරණීය හුදෙකලාවේ ශාන්ත භාවය වූකලී
මිනිස් වර්ගයාට සිය පාපී ඔලොගුවද කරින්ගෙන
කිසිදිනෙක ළඟාවිය නොහැකි විශ්වයේ ඈත කෙලවරක
රැඳීගත් අචේතනික නිශ්චලත්වයමය.

සමාප්තිය

නිදහස විඳිය හැක්කේ
එය පිළිබඳ සිහිනයේ
කිසිදා අවදි නොවන
සදාකාලික සිරකරුවෙකු වීමෙනි.
පිළිගැනීමට අකැමැති මුත්
මාගේ යථාර්ථය යනු මා‍ගේ සිහිනයන්ය.
දැන් අමතකව ඇති මුත්ඒ කලක් අප එක්ව දුටු සිහිනයන්ය.

එය සිහිනයක් නම්
බිම පතිතවීමට පෙර නිමේෂය තුළවත්
එය තුළ ජීවත් වන්නට ආශාකරමි‍‍.
එය ජීවිතය නම්
සම්මුතියේ උදෑසනක් වෙත
යටහත්ව දෑත් ඔසවා අවදිවනු වෙනුවට
මම කාලය හෝ අවකාශය අර්ථ විරහිත
මාගේ සිහින තුළම ඇද වැටෙමින් සැරිසරමි
කිසි දිනෙක අවදි නොවී මිය යමි.

අජිත් සී හේරත් ජනවාරී 2010

රොබින්සන් කෲසෝ

robinson2

ජනාකීර්ණ නගරයක් මැද
ජනශුන්‍ය දූපතකට පාව ආයෙමි.
අප්‍රාණිකව වෙරළ මත
බොහෝ කල් වැතිරී සිටියෙමි.

දිවා කල මගේ ළය මත
ඇවිද යන කකුළුවන්
මොහොතකට නතර වී
දෑස් හිස මතට ගෙන
නුරුස්නා විපරමින් මා දෙස බලා
යළි සයුර වෙත ඇදී යනයුරුද
රැය පුරා සයුරෙන් මතුවන
කැසුබුවන් වෙරළ මත බිජුලමින්
මගේ මුහුණට වැලි වීසි කරනායුරුද
ඔහේ වැතිරී බලා සිටියෙමි.

හේළිගේ වල්ගා තරුව තෙවන වරටද
පතුලක් නොමැති මගේ ඇස් කුහර තුල
ගිලීගිය පසුව
ලූණු මිදුණ වැලි තැවැරි මුහුණ පිසදා
ලූණු රසැති බැරෑණ්ඩි උගුර කාරා
වෙරළ මත කෙළ ගසා නැගිටියෙමි.

මා පැමිණි නෞකාවේ සුන්බුන්
වෙරළ මත විසිරී තිබේ.
කිසිවෙකුදු ශේෂ වූ බවට සළකුණක් නැත.
මෝරුන්ට ගොදුරු වී
මෝර කුස තුළ දිරවිණිද
මෝරුන්ම බවට පත් වී
මෝර ඇඟ තුළ දිය විණිද

සුන්බුන් අතර ශේෂ වූ
කෝපි සහ දුම්වැටිද
වෙඩිබේත් සහ පාන්පිටිද
ගොඩට ඇද ගල්ගුහාවක රැස්කොට
ගබඩාව තනාගමි.

මගේ වැරහැළි කමිසය සතරට ඉරා
එයින් ධජ සතරක් තනා
කෝපයද කලකිරීමද
වෛරයද ශෝකයද පින්තාරු කොට
මේ පාළු දූපතේ සතර මායිම
ඔසවා එය මටම පමණක්
අයත් බව සහතික කළෙමි.
කඩමාළු රුවල් රෙද්දක්
හිසේ සිට පොරවගෙන
ලොවින් මේ දූව සඟවමි.

වෙළෙන්දන් නැති බැවින්
වෙළඳ නැව් දුරදීම හැරවෙයි.
කොල්ලකරුවන් කලාතුරකින් පැමිණ
නිදන් හාරා හිස් අතින් පලා යයි.

පොතේ ලියැවී ඇති ලෙස
වනචාරීන් ගෙන්
‘Friday’ මුදාගනු වස්
ඔවුන් පැමිණෙනා තෙක්
තුරුවදුලූ අතර සැඟවී
වෙරළ මුර කෙරූවෙමි.

කෙස් රැවුල් වවාගෙන
තුවක්කුව කර තබාගෙන
නාඳුනන පා ලකුණු සොයාගෙන
යන අතර වැල්ල දිග ඇවිදගෙන
වෙරළ වෙත හැමදාම පාව එන
හිස් ළදරු කිරි බෝතල අහුළමින
දරුවෙකුට නමින් පමණක්ම හඳුනන
ලියා හසුනක් රුවා ඒ තුළ
සයුරටම වීසි කරමි,
ඇතැම්විට ඔහු යම් දිනෙක කියවන
බාග දා කිසිදිනෙක නොලැබෙන.

වනචාරීන් පැමිණියේ නැත.
‘Friday’ ද නො ආවෙන්
මිනිස් ඇසුරද අහිමි විය.

මා උරිස මත ලැග හුන් ගිරවාද
විමතියෙන් උරිස් හකුළා හොට විරිත්තා
මොනවාදෝ දොඩමින් ඈතටම
පියඹා ගියේය.

ගෙවී යන දින මාස ගණන් කරනු වස්
දුනුපිහියෙන් හැමදාම කට්ටයක් කැපූ ගස
පොරොවෙන් කපා බිම හෙළා
වෙඩි බෙහෙත් තෙමී
මල කෑ තුවක්කුව සයුරටම වීසිකර
නිරුවත් වනචාරීයෙකු වී
නුදුරු මුහුදේ ඇදීයන
ශිෂ්ටාචාරයේ නෞකා වෙත
ගල් මුගුරු වීසි කරමි.

අජිත් සී හේරත් 2009 පෙබරවාරී

ඒ හඬ අසා සිටිනෙමි.

54.104

සිසිරයේ අඳුරට බියව
හී තුඩක හැඩයෙන් පලායන
පළමු කණකොක් රැලේ වැළපුම
මරණයේ සීතල රැගෙන
පීත තුරු හිස් සිසාරා විත්
කවුළුවේ වැද සන් කරයි.

කවුළුව විවර කර
ඇස්දෙක වසාගෙන
සීත සුළඟින් ළය පුරෝගෙන
ඒ හඬ අසා සිටිනෙමි.

ජීවිතය සිඳී ගිය ගංතෙරකි
මලානික රෑ අහස යට වැතිරගත්.
අතීතය ළසෝ වැලි තලාවකි
සඳ රැයේ මළවුන් ගී ගයන

අහෝ මේ ගංතෙර
නිමල වැලිතල මත
බොහෝවුන් ඒ මේ අත
ඇවිද ගොස් හැඩිකර
තැබූ පා ලකුණු සහ ලියූ නම් ගම් මිස
කොහේ උන් ගියාදැයි
දිසාවක සලකුණක් වත් නැත.

විශ්වයේ කළු කුහර තුළ මැකී ගොස්
කලාතුරකින් දකින සිහිනයකදී වුව
දැන් ඉතින් යම්තමින් දිස්වන
ඈත දුර ඈත මන්දාකිණියක
මළ තාරකාවක අවසාන රැස් දහර
මතක දුරදක්නයෙන් නරඹමි.

වසා පොත් වනපොත් කළ
සොයා මංපෙත් හද නිනව්වට
සරා වන පෙත් ඇවිද එමි මම
ඈත ඔබ වැළලුනු ඉසව්වට.

අජිත් සී හේරත් 06.10.2009

මේ ලේ පිළී ගඳ….

blood 

අගනුවර අවන්හලකින්
ගත් බත්පත දිගහැරියෙමි.
ඔක්කාරය දනවන ලේ පිළී ගඳක්
ඉන් විසිරිණි
අරක්කැමි දෙමළ කොලූවා
කිසිවෙකු විසින්
පැහැරගෙනයාමට පෙර
උගේ අවසාන කඳුළු බිඳුවෙන්
බත්පතේ ලුණුපදමද වැඩි කර තිබිණ

ගම පැමිණි විරුවෙකු
පෙම්වතිය හා බසයට නගියි.
ඇගේ මුදු සවන් පෙති මත
දිදුළන අබරණ පිස හමා එන
සුළඟෙහිද ලේ පිලී ගඳ දැවටෙයි
වෙඩි දුමින් පිළිස්සී
වන්නියේ ඇද වැටුණ
කෙට්ටු කළු ගැහැණු මළ කඳක
කන්පෙතී ඉරී ගොස් ඇත.
කවුළුවෙන් හිස රුවා
ඇති පදම් වමනය කළෙමි.

සාලයේ වැතිර
රූපවාහිනිය නරඹමි
දික් විජය ගැන තළුමරන
නා දළු දෙතොලගින්
ලේ පිළී ගඳ වෑස්සෙයි.

පාවහන් මිලට ගැනුමට
සාප්පුවකට ගියෙමි.
පමණ සරිලන බොහෝ වූ මුත්
ලේ ගඳ නොතැවරුණ
එකදු පාවහනක් හමු නොවිණි.
සාප්පුවේ එළිපත්ත අසලදී
මස්වැදැළි ලෙස ශේෂ වූ
දෙපා ඇදගෙන බඩගා පැමිණි
නිරුවත් දෙමළ දරුවෙක්
ගෙවී කඩමාළු වී ගිය
පාවහන් යුගලක් දෝතින්ම
මවෙත දිගුකර
අහිමි කළ දෙපා යළි ඉල්ලමින්
මා හඹා ඇදී එයි.

දකුණේ දසත
නොනැවතී විසිරෙන ලේ පිළිගඳ
නැහැය හාරා පැමිණ
මගේ හිස්මොළ කකියවයි.
හිසරදයට පෙත්තක් සොයා
ඔසු සලට ගොඩ වූයෙමි.
නන්වැදෑරුම් ඔසුවලින් පිරී ගිය
රාක්කද ශීතකරණද අරා වැජඹුණ
හැම ඔසුවක ලේබලය මත
බෙහෙත් නොමැතිව මැරුණු
සියළු දෙමළුන්ගේ නම් වාසගම්
කිසිවෙකුට නොපෙනන
ලෙසින් සඳහන් වී තිබිණි.
මා මිලට ගත් පෙත්තෙන්ද
අර අපුල ලේ ගඳ ම විහිදෙයි.
එය වීසි කර දමා
කුණු බක්කියක් මත වාඩි වී
පහන් කණුවකට හිස වාරු කර
දෑස වසා ගතිමි

දෑස් හැර බලන විට
ශාක්‍ය කෝලිය යුද්ධය නිමා කර
ආපසු වඩින බුදුන් හමු විය.
මට දැනෙන ලේ ගඳ මැඞීමට
මා පෙළන හිසරදයෙන් මිදීමට
සමත් ඔසුවක වෙත්දැයි
බුදුන්ගෙන් විමසුවෙමි.

එම ඔසුව සැකසීමට
දෙමළ ලෙය නොතැවරුණ
සිහල ගෙයකින් අබ මිටක්
රැගෙන එන ලෙස පැවැසූ
බුදුහුද කඩිමුඩියේ නික්මී ගියහ.
 
 

අජිත් සී හේරත්  

සන්සුන්ය ඒ හඬ..

massacre

සන්සුන්ය ඒ හඬ..
වන්නියෙන් ඇසෙන ඒ කටහඬ.
පසුබිමෙන් ෂෙල් පුපුරනා හඬ මැද වුව
ඔබෙ හඬ සන්සුන්ය මමිතුර.

ගස් ගල් යට වැටී ලේ ගලන
මහළු පියවරුන් මැද සිට,
ගෝනි කැබැල්ලක් මත පණ අදින
ඔබේම දරුවා අසල හිඳ,
ගිලනුන්ට බෙහෙත් නොමැතිව
මියැදෙමින් සිටින බව
පවසන ඔබෙ සන්සුන් හඬ.

අහරක් නොමැති බව කිහිප දිනකින්
පවසන විටදි වුව සන්සුන්ය ඒ හඬ.
සා ගිනි නොදැන්මෙන්
ඇති විණිද ඒ සන්සුන් බව.
ආහාර ඉල්ලා හඬන
ළමාවෙකුගේ වැළපුමෙන්
නොපෑරුණු හදැතිව කෙලෙස
සන්සුන්ව සිටියේද සොහොයුර.

ඊයේ ද සිය ගණනින් මරා දැමුණ බව
පවසනා විට දීද ඔබේ කට හඬ සන්සුන්ය.
ළමාවෙකුගේ ලේ ගලන කෙඳිරිය
නොඇසුනු නිසාවෙන් දෝ
පියයන් වියෝ දුක නොහැඟුණෙන්දෝ
ඉපදුණේ ඒ මහා අකම්පිත කට හඬ.

අද දින ගෙවී යන
ජීවතුන් මළවුන් බවට
පෙරළන තත්පර අතර
කොතෙක් නම් මෘතශේෂ එක් කිරීමට
ඔබට සිදුවෙදැයි නොතැකුමෙන්දෝ
කවුරුන් විසින් ඔබෙම විසුණු වූ
අත්පා අහුළනු ඇත්දැයි
නිකම්වත් නොසිතුණෙන්දෝ
මේ තරම් සන්සුන්ව පසු වනුයේ මමිතුර.

නැත, මට දැනේ
ඒ කට හඬ හා මුසුවු
සා පවස සහ දරුදුක ද
මියෑදුණ මව්පියන් අසල ඔබ
හදවතින් වැළපෙනා හඬ
නිදහසේ නොමියැදුණ සිහිනය
තාම දැල්වෙනා සුවඳද.

එසේ නම් කොයින් එන්නෙද,
මා නොසන්සුන් කරන
සොවින් මිස කොවින් නොපෙළෙන
ඔබගේ මේ සන්සුන් කට හඬ.

වටහාගතිමි මම
ඔබෙ කටහඬ තුළ ඇසෙන
ඉතිහාසයේ සතිර විනිසුරු සර
එහෙයිනි මෙවන් සන්සුන් බව.

වටහා ගතිමි මම
ඒ විඩාබර තියුණු ඇස්
මා පසා කර
මිනිස් ශිෂ්ටාචාරයේ මායිම්ද අහුමුලුද
විනිවිද දකින බව.
එහෙයිනි ඒ අකම්පිත බව.
මා නොසන්සුන් කරන
අකම්පිත සන්සුන් හඬ…

අජිත් සී හේරත්

පාද නමස්කාරය

111

වැටී සිටියා පුතුනි නුඹ
ගිනි ලෑ වන්නියේ ඇතිරූ
ඉටි කොළයක් මත..
වැටී තිබුණා නුඹේ කෘති‍්‍රම පාදය
ඒ අසල
පිළිස්සී ගිය පස් මත

දණ ගසා නමදිමි
මේ කෘත‍්‍රීම පාදය
එයින් ලේ නොවැගිරෙන මුත්
කුරුසයේ ඇණගසන ලද
යේසුස්ගේ පාදයෙන් මෙන්,
දෙව්දතුන් පෙරළූ ගලින්
විඳ වූ බුදුන්ගේ පාදයෙන් මෙන්

කියන් මට පුතනුවෙනි
පිළිස්සී ගිය තොල් විවර කර
නුඹ දුටුව අවසාන සිහිනය
නිදිපැදුරේ මරණයට පළමුව

දුටුවාද නුඹ
සොම්නසින් පිරි සිහිනයක්
ලේ මසින් පිරි නුඹේ
අහිමි පාදය යළි ලැබී
වන්නි වැව් තලාවෙක
කෙළිදෙළෙන් සරනයුරු

දුටුවාද නුඹ බියකරු සිහිනයක්
නුඹ ජීවතුන් අතර සිටියදීම
වළදැමුණ නුඹේ පාදය සොයා
නුඹෙම එකලා ආත්මය
මහා ගනඳුරු රැයකදී
නිමක් නැති පොදු මිනීවළවල්
දෝතින්ම පහුරු ගානා අයුරු

නිවීයන නුඹේ
නෙත් පහන් මත
ලියැවුණේ
පවුකාර අපගේ සියවසක
අසමත්බවේ පුරාවත

මේ මහා සංහාරයෙන් පසු
ගොදුරු සහ අපරාධකරුවන් මිසක
සාක්ෂිකරුවන් හෝ
විනිසුරන් නැත.

Follow

Get every new post delivered to your Inbox.